Friday, October 23, 2015

ඉතින් අපි මුනගැහෙමු...

සුවඳ පුරවර වෙසෙන
දයාබර මිතුරු සඳ
එකට අත්වැල් බැඳන්
පියස යට අකුරු කළ
සොඳුරු කාලය නිමයි...

ප්‍රිය හිතාදර සබඳ,
දුර ඈත ඉම බලා
සෙමෙන් පා ඔසවන්න
ඉතින් කාලය ඇවිත්...

නෙත් කෙවෙණි තෙත් කරන්
කඳුළු බිඳු ගලා යයි
මුවඟ මඳ හසරැල්ල
සෙනෙහසින් ඇඳී යයි
එහෙත් යන්නටම වෙයි
සමුගන්න බව සැබැයි...

හිත් කොනක ගුලි ගැහුන
ලෙංගතුම බවත් ගෙන
මුනගැහෙමු යම් දිනෙක,
සුවඳ මෙනුවරදීම...

Thursday, October 22, 2015

ඒ දවස්වල...

පුරා සඳ වට
දිදුළ තරු කැට
නිවී ඇති සේ
සඳත් එක්කම

තුරු මුදුන් මත
ඇසුනු කූජන
නිහඬ වී ඇත
මලුත් එක්කම

මුවග ගැවසුන
සිනහ මල් රැස
ඈත් වී ඇත
නුඹත් එක්කම...

Monday, December 8, 2014

කඳුලු

සුනිල ගගනත සරණ තරු කැට
අතර සැඟවුනු තාත්තේ නුඹ
නැවත ඒ නම් බලා ඉන්නට
කවුලු අතරින් මා යනෙන රඟ

අහස දෙදරා ඉකිබිඳින සඳ
මහා වැහි බිඳු වැටෙයි මිදුලට
ඔබේ කඳුලුත් සමග මුසු කොට
වැහි වහී යයි සිතෙයි මා හට

Monday, November 17, 2014

අපි ආයිත් දවසක

අපි ආයිත් දවසක
අත් පටලාගෙන
හෙමින් ඇවිද යමු
මැයි ගස් පාමුල

වළාකුලක බර
හිතට දැනුනෙ නැති
පැතුම් පොකුරු පිරි
අරුම වසන්තෙක

තත්පර කටු මත
බර වැඩි වීලා
කාලය ඉගිලී
ඈතින් ඈතට

සමුගෙන ගිය ඒ
සොඳුරු අතීතය
නෙතු පොඟවයි
කඳුලක් එබිකම් කර

Monday, September 8, 2014

සඳ ඇවිදින්...

සඳ ඇවිදින් ගං ඉවුරට
නුඹ ඇවිදින් සිත් ඉවුරට
සඳ ගඟුලට - නුඹ මහදට
එළිය ගෙනෙනවා

වසන්තය රැගෙන දෝතට
ජීවිතය ගෙනා නුඹ මට
ගොඩක් ආදරෙයි සත්තට
ගඟත් දන්නවා

සිත් මඬලේ කතන්දරේ
නුඹෙ සවනට කොඳුරන විට
ගං දියරැලි සඳ මඬලට
රහස කියනවා